පැරණි දැනුමැතියෝ විශ්වය එකම කලාගාරයක් ලෙස දුටහ. ඔවුහු කලා ශිල්ප, විද්‍යා, දර්ශන ශාස්ත්‍ර යනු කී හෙයින් විශ්වය කොටස් පහකට බෙදූහ. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග මෙරටට ලැබුණේ බුදුදහම සසුන මතු නොව නව කාර්මික තාක්ෂණික ශිල්ප ඤාණයකි.  මහා මංගල සූත්‍රයේ එන බාහු සච්චංච සිප්පංච ගාථාවෙන් කියැවෙන පරිදි බොහෝ ශිල්ප ශාස්ත්‍ර උගෙනීම මංගල කරුණකි. වර්තමානයේ විශේෂයෙන් දකුණු ආසියාතික සහයෝගිතා කලාපයම අස්පර්ශනීය සංස්කෘතික උරුමය නැවත විමසමින් සිටී.

අපරදිග ලෝකයද මේ පිළිබඳ දැඩි උනන්දුවක ක්‍රියා කරයි. පසුගිය ව්‍යසනකාරී මාස කීපය තුළ අප රටේ නව නිපැයුම් කොපමණ බිහිවූවා දැයි කල්පනා කිරීම වටී. සෙනරත් පරණවිතාන, ආනන්ද කුමාරස්වාමි, බ්‍රෝහියර් ඇතුළු බොහෝ උගතුන් මේ ගැන ලියා ඇත්තාහ. ශිරාන් දැරණියගල ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසාගේ ජීවිතය සොයා යද්දී බොහෝ කරුණු එළිදරව් කළේය.


ශ්‍රී ලාංකේය සාම්ප්‍රාදායික තාක්ෂණය සහ වෘත්තීය  භාවිතය නමින් ඉන්ද්‍රකීර්ති සිරිවීර රචනා කළ කෘතියේ ලෝහ තාක්ෂණය, වාරි කළමනාකරණය, කෘෂිකර්මය, සත්ත්ව පාලනය, මිරිදිය ධීවර කර්මාන්තය, සමුද්‍ර සම්පත් උපයෝජනය දේශීය වෛද්‍ය ක්‍රමය ගැන කරුණු අනාවරනය කෙරේ.  තාක්ෂණය සම්බන්ධ රාවණා රජුගේ පුරාණෝක්ති විමසමින් තිබෙන කාලයකි මේ. සිරිවීර මෙසේ පවසයි.


අහස් කුස සිඹින දාගැබ්, සිත් දැහැන්ගත කරවන ප්‍රතිමා, සයුරු සමාන වැව් සහ සීගිරිය වැනි මනහර නගර ප්‍රතිබිම්බනය කරන්නේ ඒකරාශී වූ අතීත ක්‍රමයයි. එම ශ්‍රමය සංවිධානය කළේ රජුන් ප්‍රමුඛ ප්‍රභූ පැලැන්තිය හෙයින් ඔවුන්ගේ කාර්ය සංසිද්ධීන්ගෙන් ඉතිහාසයේ පිටු පිරී ඇත. එහෙත් මෙහි ඇත්තේ අතීතයේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලාංකේය ගැමි ජනතාවගේ තාක්ෂණික දායකත්වය සහ වෘත්තීය කාර්ය සංසිද්ධිය කැටිකොට දැක්වීමකි. එය ජනතා ඉතිහාසයක් ගොඩ  නැගීමට දැරූ ප්‍රයත්නයකි. 


පරිසරය ආරක්ෂා කර ගනිමින් ස්වභාවික සම්පත් භාවිත කළ ශිල්පීන් ගොවීන් සහ වෙදැදුරන් සාමුහිකත්වය අගය කළ ආකාරයත් සරල අවශ්‍යතා සපුරා ගත් ආකාරයත් හැදෑරීමට අත්වැලක් සැපයීම වැදගත්ය.  මාර්ටින් වික්‍රමසිංහ ඔහුගේ බොහෝ ශාස්ත්‍රීය විචාර කෘතිවල මේ විෂයන් කතාකොට ඇත. අනගාරික ධර්මපාල ජීවිතය හදාරද්දී රාජගිරියේ ශිල්ප කර්මාන්ත විද්‍යා ඉගෙනීමට දැරූ වෙහෙස කොතරම්දැයි අපට පෙනේ. ශිල්ප කර්මාන්ත විද්‍යා ගැන කල්පනා නොකරන ජාතිය දුගී වෙතැයි ඔහු පැවසීය. මුනිදාස කුමාරතුංග පවසා සිටියේ අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගින බවකි.



සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර අධ්‍යාපනික පුනරුදය තුළ මේ විෂයයන් ක්‍රියාවට නැංවිය.  කොළඹ මරදානේ බ්‍රිතාන්‍ය යුගයේ පිහිටුවන ලද කාර්මික විද්‍යාලය, රත්මලානේ, ජර්මානු කාර්මික පුහුණු ආයතනය, ගල්ගමුවේ වාරිමාර්ග කාර්මික පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකාර්මික පුහුණු මධ්‍යස්ථානය, වෘත්තීය පුහුණු අධිකාරිය, ආධුනිකත්ව මණ්ඩලය ආදිය ගැන කරුණු ඇතුළත් වකුල ගුණපාල ලියූ අපේ අධ්‍යාපනය එදා අද සහ හෙට කෘතියේ ඇතුළත් තොරතුරු අපට කිසියම් මගක් පෙන්වයි.



රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනින් වලානේ සිද්ධත්ථ නාහිමියන් වෙතින් උගත් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා රත්මලානේ ධර්මාරාම හිමියන් විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් පිහිටුවා විවිධ ශිල්ප ශාස්ත්‍ර දියුණු කිරීමට මග පෑදු බව අපි දනිමු. ඒ 1873 හා 1875 වසරවලදීය. 1959දී වැලිවිටියේ සෝරත හිමියෝ විද්‍යෝදය  විශ්ව විද්‍යාලය පිහිටුවමින්  විද්‍යාවත්, වාණිජ විද්‍යා හා කළමනාකරණයත් ඉගෙනීමට ක්‍රියා කළහ. තත් විද්‍යෝදය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තවත් ඉදිරි ගමනකට යන පියවරක් තබයි. හෝමාගම, පිටිපන ඉදිකළ තාක්ෂණික විද්‍යාපීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමිනි. ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගොඩනැගිලි විවෘත කරයි. එනම් 2020 ජූනි මස 8 වැනිදාය.  ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ වරින්වර විවිධ රජයයන් යටතේ නොයෙක් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලද්දෝ වෙති.


පැරණි යුගයේ අපොස (සා.පෙළ) කළ අපෙන් පසුව 70 දශකයේ ප්‍රාග් වෘත්තිය විෂය ධාරාව අද්‍යාපන ක්ෂේත්‍රයට එක්කරන ලදී. නැවතත් එම විෂය ධාරා වෙනස් විය. මෑත යුගයේ ඩලස් අලහප්පෙරුම  ඇමැතිවරයා වෘත්තිය නිපුණතා අංශය භාරව ක්‍රියා කරන විට බන්ධුල ගුණවර්ධන අද්‍යාපන ඇමැතිවරයා වූ අතර එස්.බී. දිසානායක  උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තාක්ෂණික විෂය ධාරාව පාසල් අධ්‍යාපනයට එක් කළේය. 2013 වසරේ මහාචාර්ය සුදන්ත ලියනගේ වර්තමාන ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා එවක ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර සමග අ.පො.ස. (උ.පෙළ) සඳහා තාක්ෂණ විෂය එක් කළහ. තාක්ෂණවේදය සඳහා විද්‍යාව පිළිබඳව විෂය ධාරාවේ එකල නිර්දේශ පත්‍ර සැකැසීමේ කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කළේ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාය.  මහාචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න උප කුලපති පදවිය දරූ සමයේ මහත් වෙහෙසක් දරා තාක්ෂණ විෂය සඳහා නව පීඨයක් සැදීමට සැලසුම් කළේය. 2013 වසරේ මහින්ද රාජපක්ෂ ජනපති සමයේ අයවැයෙන් පීඨ දෙකකට මුදල් වෙන්විණි. හයිලෙවල් පාරේ කුලියට ගත් ගොඩනැගිල්ලක තාක්ෂණ විද්‍යා පීඨය ආරම්භ විය. ප්‍රථම පීඨාධිපති බවට පත්වූ විශාල වැඩ කොටසක් නිමකළේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ මහාචාර්ය පී.බී. මණ්ඩාවලය. ව්‍යාපාරික විද්‍යා තාක්ෂණ විෂයයන් සමග ඉතිහාසය.


පුරාවිද්‍යාව, මානව විද්‍යාව වැනි විෂයයන්ද එම ශිෂ්‍යයන්ට උගැන්වීම පටන් ගත්තේය. අ.පො.ස. උ.පෙළ සමත් ඉහළ ලකුණු ගත් ශිෂ්‍යයන්ට පාසල්වල තාක්ෂණ විෂය හැදෑරුවන්ට එම පීඨයට ඇතුළුවීමේ වරම් හිමිව තිබේ.  මහාචාර්ය සම්පත් අරමතුංග, උප කුලපති ලෙස  කටයුතු කළ අවධියේ මහත් පරිශ්‍රමයකින් හෝමාගම පිටිපන ඉඩමක නව තාක්ෂණ විද්‍යා පීඨය සෑදීමට මුල්ගල තබන ලද්දේ 2017 වසරේදීය.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කුලපතීන් වහන්​සේගේ  ප්‍රධානත්වයෙනි. එවක උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ඊට සහභාගි වූහ. වැඩි දෙනාගේ ඉල්ලීම මත එවක ව්‍යාවහාරික විද්‍යා පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ තාක්ෂණ විද්‍යා පීඨාධිපති බවට පත්වූයේ බලාපොරොත්තු රැසක් ඇතිවය. එම ප්‍රාර්ථනා අද දින මුදුන් පැමිණ තිබේ.  සැප්තැම්බර් මස වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ එම ගොඩනැගිලි සංකීර්ණය අද (ජුනි මස 8 වැනිදා)  විවෘත කිරීම යෙදී ඇත. දැනට ශිෂ්‍යයන් 325ක් ඉගෙන ගන්නා තත් පීඨයේ නවක විෂයයන් 400කට වසරක් පාසා එම අවස්ථාව උදාවෙයි. ශිෂ්‍යයන් 1600කට ඉගෙනීමේ පහසුකම් ඇති අතර ශිෂ්‍යයන් 1000කට නේවාසිකව පහසුකම් සලසා ගත හැකිය.


ශිෂ්‍යයන් 625කට ඉඩ කඩ ඇති ශ්‍රවණාගාරයක්ද, කර්මාන්ත ශාලාවක්ද ඇතුළු ගොඩනැගිලි 5ක් ඉදිකර තිබේ. අධ්‍යනාංශ 5කින් සමන්විත මෙම තාක්ෂණ විද්‍යා පීඨයේ පර්යේෂණාගාර ඇතුළුව ආචාර්යවරුන් සියලු දෙනා එකම ගොඩනැගිල්ලක ක්‍රියා කරන ලෙස ඉඩකඩ අවස්ථා සකසා තිබීම සැලකිල්ලට ගත යුතු කරුණකි. විශ්වවිද්‍යාලයේ කුලපතීන් වහන්සේ වන ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලෝක කෝට්ටේ කල්‍යාණි සාම ග්‍රී සංඝ සභාවේ මහානායක හිමියන් ද අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහත්වරු මේ ප්‍රතිඵලදායි අවස්ථාවට සහභාගි වෙති.  රටේ අනාගත සංවර්ධනයට මේ ක්‍රියාදාමය ප්‍රයෝජනවත් වේ.